දිඹුලාගල නායක හාමුදුරුවන් වහන්සේ

මාතර, කිතලගමුව ග්‍රාම⁣යේ දී උපත ලබා පසුව කිතලගමුවේ ශ්‍රී සීලාලංකාර නමින් උතුම් වූ සම්බුද්ධ ශාසනයට ඇතුලු වී සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් සිදු කළ දිඹුලාගල නාහිමියන් පිළිබඳව පසු ගිය දා සිදු කළ ගවේෂණයකින් පස්සෙ මේක ලියන්න තීරණය කළා. ජාතික වශයෙන් හා ආගමික වශයෙන්, පොළොන්නරුව, දිඹුලාගල හා අවට ප්‍රදේශ වල ආර්ථිකමය වශයෙන්, අධ්‍යාපනික වශයෙන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට, කෘෂි හා වාරි කර්මාන්තයට උන්වහන්සේ දක්වා ඇති දායකත්වය අසමසමයි

මේ උන් වහන්සේට එවකට ලබා දී තිබූ ගෞරවාන්විත ලිපියකින් උපුටා ගනු ලැබූ කොටසක්

"උතුරු-නැගෙනහිර සහ තමන්කඩු දෙදි⁣සාවේ ජනපද ව්‍යාපාරයේ පුරෝගාමී, දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, දිඹුලාගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, දිඹුලාගල බුද්ධ ශ්‍රාවක මහා සංඝ සභාවේ ගරු සභාපති, දිඹුලාගල මහා කාෂ්‍යප මහා පිරිවෙණ් අධ්‍යක්ෂක, පොළොන්නරුව විනය හා සුචරිත අධ්‍යාපන මණ්ඩලයේ උපදේශක, දිඹුලාගල ආරණ්‍ය සංවර්ධන සමිතියේ ගරු සභාපති, ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති, සිංහල සංවර්ධන සංවිධානයේ දිඹුලාගල ශාඛාවේ සභාපති, ධර්ම විජය පදනමේ දිඹුලාගල ශාඛාවේ අනුශාසක, ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු සභාපති, ප්‍රජා සංවර්ධන සමිතියේ ගරු අනුශාසක, උතුරු-නැගෙනහිර නව ජනපද පිහිටු⁣වීමේ සහ මානව සංවර්ධන සංවිධානයේ සභාපති, උතුරු නැගෙනහිර ස්වදේශාරක්ෂක මධ්‍යස්ථානයේ උපදේශක"

මාතර කිතලගම ප්‍රදේශයේ වාසය කළ හේවාදුලීගේ දියෝනිස් මහතාට සහ ගාල්ලගේ සයිනහාමි මහත්මියට දාව වර්ෂ 1924 මැයි මස 15 වන දින උපත ලැබූ නිවුන් දරු දෙදෙනාගෙන් ජීවත් වීමට වරම් ලබා ගන්නේ එක් පුතෙක් විතරයි. ඔහු එච්. ඩී. චාර්ලිස් ලෙස නම් ලබනවා. පාසල් කාලයේ සෙල්ලමට බර ජීවිතයක් ගත කළ මොහුව පන්සලට යැවීමට ඔහුගේ දෙමව්පියන් තීරණය කරනවා. පන්සලේ ලොකු හාමුදුරුවන් ඉදිරියේ දී මේ පුංචි දඟකාරයා මෙල්ල වුනා. යාන්තම් වයස අවුරුදු 12 දී නායක හාමුදුරුවන් සමඟ මාතර සිට පා ගමනින් පොළොන්නරුවට වන්දනා ගමනක් පැමිණි පුංචි චාර්ලිස්ට මේ ගමන අතරතුරදී මහණ වෙන්නට සිත් පහළ උනා. අනතුරුව පුංචි චාර්ලිස් මාතර හා අකුරැස්ස අතර පිහිටි විලපිට ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ උඩුපිලලේගොඩ පඤ්ඤාලංකාර හිමියන් අතින් කිතලගම සීලාලංකාර නමින් පැවිද්ද ලබා ගනු ලැබුවා

අනතුරුව තම ගුරු හිමියන් සමඟ පොළොන්නරුවට වැඩම කළ පා ගමන සිහිපත් වූ උන් වහන්සේ පොළොන්නරුව ප්‍රදේශයට වැඩම කරන්නට ගුරු හිමියන්ගෙන් අවසර ඉල්ලා සිටියා. ඉන් පසුව 1948 වසරේ දී පොළොන්නරුව, කදුරුවෙල ශ්‍රී බුද්ධජයන්ති මහා විහාරයට වැඩම කරන උන් වහන්සේ ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙනවා. නමුත් පන්සලේ වැඩ වාසය කිරීමට අකමැත්තක් දැක් වූ උන් වහන්සේ පලුගස්දමන ප්‍රදේශයට වැඩම කර නුග ගසක් පාමුල භාවනායෝගීව වැඩ වසන්නට වුනා. උන් වහන්සේ එම ප්‍රදේශයේ සුසාන භූමියක මිනී වලවල් මත හිඳ ගෙන භාවනා කළ බවත්, පිණ්ඩපාතයේ වඩිමින් දන් වැළඳූ බවත් කියැවෙනවා. ක්‍රමයෙන් ජනාවාසකරණය වීමෙන් තමන්ගේ නිදහසට බාධා වන බන වටහා ගත් උන් වහන්සේ එම ප්‍රදේශයෙන් පිටත්ව යනවා. අනතුරුව හඳපාන්විල ප්‍රදේශයට වැඩම කරන උන් වහන්සේ එම ප්‍රදේශය ගං වතුරට යට වන බව දැන ගෙන එම ප්‍රදේශයෙන් ද නික්ම යනවා

ඒ කාලයේ පොළොන්නරුව ප්‍රදේශයේ භාවනායෝගීව කල් ගත කරන කාලයේදී එක් දිනක් අහඹු ලෙස එක්තරා අත්භූත පුද්ගලයෙකු විසින් කිරි කළයක් රැගෙන පැමිණ "ඔබ වහන්සේට වාසය කිරීම සඳහා ඉතාමත් සුදුසු ගල් ලෙනක් ගඟෙන් එගොඩ දිඹුලාගල ප්‍රදේශයේ පවතිනවා" යැයි පවසා තිබෙනවා. අනතුරුව පා ගමනින් දිඹුලාගල ප්‍රදේශයට පැමිණි සීලාලංකාර නාහිමියන්ට දැක ගත හැකි වූයේ අතිශය වනාන්තර ගහණව පැවති දිඹුලාගල ආශ්‍රිත ගල් ලෙන් වල ජීවත් වූ ආදි වාසී ජන සමූහයා සහ දිඹුලාගල අවට වාසය කළ ද්‍රවිඩ ජනතාව. උන් වහන්සේගේ පළමු කර්තව්‍ය වූයේ එකී සියලු ජනයා ඒකරාශී කර දිඹුලාගල අවට ජනාවාසකරණය කිරීමයි. ඒ අතර කාලයේ ආදි වාසී නායක යාපා නැමැත්තා උන් වහ්නසේට ඔවුන් ජීවත් වී සිටි ගල් ලෙන පිළි ගන්වා තිබෙනවා. එම අවස්ථාවේ දී උන් වහන්සේ එම ගල් ලෙන පිළි ගැනීමට නම් ආදි වාසී ජනයා උතුම් වූ සම්බුද්ධ ශාසනයට එක් විය යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනූව එකී ආදි වාසී නායකයාගේ පුත්‍රයා ඇතුලු පිරිසක් උන් වහන්සේ විසින් මහණ කරවා ගෙන තිබෙනවා. අනතුරුව ප්‍රදේශයේ ද්‍රවිඩ ජනයා සමඟ කුලුපඟ වූ උන් වහන්සේ ඔවුන්ගේ ද සහය ඇතිව දිඹුලාගල ප්‍රදේශය ජනාවාසකරණය කරන අතරතුරම ඔවුන්ගේ නම් වෙනස් කරමින් සිංහල නම් ආරූඪ කරමින් ඔවුන්⁣ගේ පිරිස්ද මහණ කරවා ගනු ලැබුවා

මහරගම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන වලින් උදව් උපකාර ලබා ගත් උන් වහන්සේ ආදි වාසී ජනතාවට සහ ද්‍රවිඩ ජනතාවට පන්සල අවට නිවාස තනා දීමට ද කටයුතු කරනු ලැබුවා. අනතුරුව උන් වහන්සේ විසින් වාලච්චේන ප්‍රදේශයේ සිංහල පවුල් පහක් පදිංචි කරවා පංච මහා විහාරය නම් විහාරස්ථානයක් ඉදි කරවා සිංහල-බෞද්ධ ජනාවාසකරණය ආරම්භ කර තිබෙනවා. එතනින් නොනැනතුනු උන් වහන්සේ ක්‍රමයෙන් වැලිකන්ද, වඩමුනේ, තොප්පිගල, අසේලපුර, ත්‍රිකෝණමඩු ආදී ප්‍රදේශ වලත් සිංහල පවුල් පදිංචි කරවා එකී පුදේශ වල සිංහල ජනාවාසකරණය ආරම්භ කර තිබෙනවා. ඒ කාලයේ නායක හාමුදුරුවන් විසින් ඉඩම් ලබා දෙන බව සැල වුනු සිංහල ජනතාව දහස් ගණනක් පොළොන්නරුව, මහවැලි ගඟෙන් එගොඩ ප්‍රදේශ වලට සංක්‍රමණය වූ බව පැවසෙනවා. කිතලගමුවේ ශ්‍රී සීලාලංකාර නාහිමියන් විසින් දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රදේශ වල සිංහල පවුල් 88000 කට වැඩි ප්‍රමාණයකුත් වැලි ඔය ප්‍රදේශයේ සිංහල පවුල් 45000 කට වැඩි ප්‍රමාණයකුත් පදිංචි කිරීමෙහි ලා ඉමහත් සේවයක් ඉටු කර තිබෙනවා.මේ ආකාරයෙන් උතුරුමැද හා නැගෙනහිර පළාත් වල සිංහල ජනතාව පදිංචි කිරීමේ දී දමිළ ජනතාව ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ල ⁣වේ යැයි සැකය මත උද්ඝෝෂන පවත්වා ඇති අතර ඒ බව සැල වූ දකුණු ඉන්දීය දේශපාලන නායකත්වය ශ්‍රී ලංකාවේ එවකට පැවති ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට බලපෑම් එල්ල කළ බවද සඳහන් වෙනවා. කෙසේ වෙතත් දිඹුලාගල පන්සල යටතේ පොළොන්නරුව ප්‍රදේශයට අමතරව අනුරාධපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, වව්නියාව හා බදුල්ල යන දිස්ත්‍රික්ක වලත් අනු ශාඛා 100 කට වැඩි ප්‍රමාණයක් ඉදි කිරීමටත් උන් වහන්සේ කටයුතු කර තිබෙනවා

එවකට දිඹුලාගල හා ඒ අවට ප්‍රදේශයේ ජනතාවට පැවති ප්‍රධානම ගැටලුවක් වූයේ සිය වගා බිම් සඳහා ජලය ලබා ගැනීමේ අපහසුතාවයයි. පා ගමනින් මාදුරු ඔය වැනි ප්‍රදේශ වල සංචාරය කළ උන් වහන්සේ ඉපැරණි මාදුරු ඔය ජලාශය පිහිටි භූමිය හඳුනා ගෙන ඒ ස්ථානයේ ජලාශයක් ඉදි කිරීමෙන් වර්තමා⁣නයේ එගොඩපත්තුව ලෙස හඳුන්වන දිඹුලාගල, වැලිකන්ද, අරලගංවිල ඇතුලු ප්‍රදේශ වල ජල හිඟයට පිළියමක් ලෙස එම ස්ථානයේ ජලාශයක් ඉදි කළ හැකි බව හඳුනා ගනු ලබනවා. ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ පැවති සම්බන්ධතා හේතුවෙන් උන් වහන්සේගේ යෝජනාවක් අනූව මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගාමිණී දිසානායක මැතිතුමාගේ මැදිහත් වීමෙන් මාදුරු ඔය ජලාශය ඉදි වන්නේ ඒ අනූව. අදටත් ඒ සියලුම ප්‍රදේශ වල ජනතාවගේ සියලුම ජල අවශ්‍යතාවයන් සපුරාලනු ලබන්නේ මාදුරු ඔය ජලාශය මඟින්

දිඹුලාගල ප්‍රාදේශීය සභාව පිහිටුවීමේ දී මූලිකත්වය ගනු ලබන්නේත් දිඹුලාගල නාහිමියන් විසින්. ඒ එම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමය වෙනම පරිපාලන ඒකකයක් අවශ්‍ය බව බළධාරීන්ට ඒත්තු ගන්වමින්. එලෙසම අදටත් එම ප්‍රදේශ වල පවතින බොහොමයක් පාසල් සහ රෝහල් ඉදි වන්නේ උන් වහන්සේගේ මඟ පෙන්වීම, කැපවීම සහ අප්‍රතිහත ධෛර්යය හේතුවෙන්. දිඹුලාගල ප්‍රදේශයට විදුලි බල පහසුකම් ලබා දීම සිදු වන්නේ ද උන් වහන්සේගේ මැදිහත් වීමෙන්. අතිශය දුෂ්කර, වන සතුන් ගහණ, විශාල වනාන්තර වලින් පිරුනු දිඹුලාගල, අරලගංවිල, වැලිකන්ද, තොප්පිගල, වැලි ඔය ඇතුලු සියලුම ප්‍රදේශ සිංහල ජනාවාසකරණයට පත් වන්නේ දිඹුලාගල නාහිමියන්ගේ මැදිහත් වීමෙන්

1970 දශකයේ මඩකලපුව දිස්ත්‍රික්කය ජනාවාසකරණය කිරීමටත්, 1980 දශකයෙ මහවැලි එල් කලාපය යටතේ වවුනියාව ප්‍රදේශයේ දිඹුලාගල ගොවි ජනපද ආරම්භ කිරී⁣මටත් උන් වහන්සේ ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා.

මෙකී කාර්යයන් සිදු කිරීමේ දී උන් වහන්සේට දේශපාලන හා වෙනත් විවිධ තර්ජන හා ගැටලුකාරී වාතාවරණයන්ට මුහුණ දීමට සිදු වෙනවා. මහවැලි ගඟේ දකුණු ඉවුරේ සිංහල ජනතාව පදිංචි කිරීමේ දී එවකට පොළොන්නරුව වැඩ බලන දිස්ත්‍රික් අමාත්‍යවරයාව සිටි පෝල් පෙරේරා විසින් එකී ජනතාවට පහර දී එලවා දැමීම එවන් එක් සිදු වීමක්. ඒ ආකාරයෙන් එවකට මහවැලි ගඟ දකුණු ඉවුර සිංහල ජනාවාසකරණයට ලක් වීම සිදු වූවා නම් වර්තමානයේ දෙමළ හා මුස්ලිම් ජනතාව සතුව පවතින නැගෙනහිර පළාතේ දේශපාලන බලය, තවමත් සිංහලයා සතු වීමට බොහෝ ඉඩ කඩ තිබුන බව ද කි⁣යවෙනවා

1930 දශකයේ සේරුවිල හා කිළිනොච්චිය ප්‍රදේශ වල සිංහල ගොවි ජනපද පිහිටුවීමේ දී අති පූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නාහාමියන් වහන්සේ සමඟ දිවි පරදුවට තබා ක්‍රියා කළ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර හිමියන් 1950 දශකයේ සී. පී. ද සිල්වා මහතා සමඟ පොළොන්නරුව ජනාවාසකරණය කිරීමේ කටයුතු වලටද දායකත්වය දක්වා තිබෙනවා

එලෙසම දිඹුලාගල හාමුදුරුවන්ට අසරණ සරණ සිරි කස්සප යන නාමය ලබා දී ඇත්තේ මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමිපාණන් විසින්. අමරපුර නිකායේ නායක හිමිපාණන් වූ උන් වහන්සේගේ නිරන්තර අවවාද-අනුශාසනා, දිඹුලාගල හාමුදුරුවන් විසින් ලබා ගත් බව කියැවෙනවා

තවද දිඹුලාගල හාමුදුරුවන් හඳුන්වන තවත් නමක් තමයි පොල්ලෙ බැද්දෙ හාමුදුරුවො කියන එක. ඒකට හේතුව තමයි උන් වහන්සේ පොළොන්නරුව, දිඹුලාගල ප්‍රදේශයේ ජනාවස ඇති කරනකොට උන් වහන්සේ විසින් කඩා ගත් පොලු කැබැල්ලක් උපයෝගී කර ගෙන තමයි ඉඩම් මැනුම් කටයුතු සිදු කරලා තියෙන්නෙ

දරදඬු පුද්ගලයෙකු වූ උන් වහන්සේ එක් අවස්ථාවක ඉඩම් බෙදා දීමේ කටයුතු වලට පැමිණි ඉඩම් නිළධාරියෙකුට, සිංහල ජනතාවට ඉඩම් ලබා දීමේ දී සිදු වූ ප්‍රමාදතාවයක් සහ අක්‍රමිකතාවයක් හේතුවෙන් තම කුඩයෙන් පහර දුන් අවස්ථාවක් පිළිබඳව ද කි⁣යැවෙනවා. කෙතරම් බාධක පැමිණියත් ඒ කිසිඳු දෙයක් තඹ සතේකට මායිම් නොකළ දිඹුලාගල මහ නායක හිමියන් විසින් සිංහල ජනතාව වෙනුවෙන් කළ කී දෑ කියා නිම කරන්න බැරි තරම්. කෙසේ නමුත් එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් පොළොන්නරුව ප්‍රදේශයේ සිය බලය තහවුරු කර ගැනීමට ප්‍රධානම බාධකයක් වූ දිඹුලාගල නාහිමියන් කිහිප අවස්ථාවකදීම ඝාතනය කිරීමට උත්සහ කළ ද ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබුනු පසුබමික 1995 මැයි මස 26 වන දින උදෑසන පන්සල සහ ගම්මාන වල ජනතාවට ලබා දීම සඳහා හේන් වල එළවලු එකතු කර ඇති බවට උන් වහන්සේ⁣ට ලැබුනු දුරකථන ඇමතුමක් හේතුවෙන් අදාළ එළවලු ලබා ගැනීමට කැබ් රථයෙන් උන් වහන්සේ පන්සලෙන් පිටත් වෙනු ලැබුවා. ඒ ගමන් මාර්ගයේ අතරමඟ රැඳී සිටි මිලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිසකදි දරුණු වෙඩි ප්‍රහාරයකට උන් වහන්සේ ලක් වුනා. උන් වහන්සේගේ සිරුර සොයා ගන්නා විට ⁣කපා කොටා දමා, ⁣වෙඩි තබා ඝාතනය කර ඇති බව සොයා ගනු ලැබුවා

පුලතිසිපුර රාජ සමයේ මහා පරාක්‍රමබාහු රජතුමාට අනුශාසනා කළ මහා කාෂ්‍යප සංඝ රාජයාණන් වහන්සේගේ පුනරාවර්තනයක් බඳු වූ, සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අති මහත් සේවයක් ඉටු කළ උතුරු-නැගෙනහිර සහ තමන්කඩුව දෙදිසාවේ ප්‍රධාන සඟ නායක, ශ්‍රී වජිරඤාණ ධර්මාරක්ෂිත අමරපුර නිකායික, වාදීහසිංහ සඟ සෙන්පති අසරණ සරණ සිරි කස්සප, මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් සිය අවසන් සුසුම් පොද වා තලයට එක් කළේත් තම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට කටයුතු කරමින් සිටියදී. උන් වහන්සේ ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් වල සදා අනුස්මරණීය හිමි නමක් වනු නොඅනුමානයි



~ අෂේන් සුදීප ~













Posted by Ashain Sudeepa (Admin)

Comments

Popular posts from this blog

CONCRETE - Part 2 - Construction Materials

කවුඩාගල - ගිහින් බලන්න ඕනෙම තැනක්