කවුඩාගල - ගිහින් බලන්න ඕනෙම තැනක්

ඔයාලා හැමෝම ආසයි අපේ රටේ ලස්සන තැන් බලන්න ඇවිදින්න යන්න. කඳු නඟින්න, දිය ඇලි බලන්න, කැලෑවල් වල ඇවිදින්න. මං මේ කතා කරන්න යන්නෙ ඒ හැම දේකටම වඩා ටිකක් වෙනස් තැනක් ගැන. හැබැයි මේක ඓතිහාසික වශයෙනුත්, සෞන්දර්යාත්මක ව⁣ශයෙනුත් ඉතාමත් වැදගත් තැනක්

⁣කොහොමද කවුඩාගලට යන්නෙ?

පොළොන්නරුව-මඩකලපුව මාර්ගයේ වැලිකන්ද නගරය පහු කර ගෙන ඇවිල්ලා අසේලපුර හන්දියෙන් හැරිලා තවත් කිලෝ මීටර් දහයක විතර දුරක් ආවට පස්සෙ තමයි මේ කියන ස්ථානය හම්බ වෙන්නෙ

කවුඩාගල ගැන විස්තර දැන ගත්තෙ කොහොමද?

2019 මුල් කාලෙ මේ තැන බලන්න යනකොට මේ තැන ගැන අන්තර්ජාලයේ කිසිම වාර්ථාවක් තිබුනෙ නෑ. හැබැයි 2016 මෙතනට ආපු පිරිසක් එක වාර්ථාවක් පල කරල තිබුනා. ඒ ඇරෙන්න වෙන කිසිම මූලාශ්‍රයක් ඒ වෙනකොට තිබුනෙ නෑ. මේ ගමන යන්න අපිට ආරාධනා කළේ කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය දේවගල පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ මඟ පෙන්වීම නිසා තමයි මේ ගමන සාර්ථක කර ගන්න පුලුවන් උනේ. අතීතයේ වැලි තලාවෙන් වැහිලා ගියපු මේ පුදබිම යළි මතු කර ගන්න ඉමහත් වූ පරිශ්‍රමයක් උන්වහන්සේ විසින් දරනවා

කවුඩාගල කියන්නෙ මොකද්ද?

කවුඩාගල කියන්නෙ විශාල ගල් පර්වතයක් මූලික කර ගෙන විසිරිලා තියෙන තවත් ගල් පර්වත කිහිපයකින් සමන්විත ප්‍රදේශයක්. මූලාශ්‍ර වලට අනූව මේ ආරාම සංකීර්ණය ආරම්භ වෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාවට බුදු දහම ආගමනය වෙලා දේශය පුරා බුදු දහම පැතිරී යන කාලෙක. මේ ප්‍රදේශයට අරිට්ඨ මහ රහතන් වහන්සේගේ සම්බන්ධයක් තියෙනවා කියලත් කියවෙනවා. ඒ වගේම මේ ප්‍රදේශය තාමත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇස ගැටුන ප්‍රදේශයක් නෙමෙයි. ඒ හින්දා හැම තැනම දකින්න පුලුවන් වෙන්නෙ ගරා වැටුනු නටඹුන්. එක්තරා ප්‍රමාණයකට විතරයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මැදිහත් වෙලා කරුණු හොයලා බලලා තියෙන්නෙ. කවුඩාගල තියෙන නටඹුන් වලට අනූව මේ ප්‍රදේශය සහ මේ අවට ප්‍රදේශයේ විශාල ආරාම සංකීර්ණයක් මූලික කර ගෙන විශාල ජනාවාසයක් පැවතිලා තියෙනවා. වර්තමානයේ උතුරු මැද හා නැගෙනහිර පළාත් වල මායිමේ පිහිටලා තියෙන මේ ප්‍රදේශය, අතීතයේ රෝහණ දේශය සහ රජරට අතර මායිමේ තමයි පිහිටලා තිබිලා තියෙන්නෙ. මේ ප්‍රදේශයේ පවතින ගල් පර්වත කිහිපයකම චෛත්‍යයන් ඉදි කරලා තිබුන බවට නටඹුන් දකින්න තියෙනවා. මේ එක් චෛත්‍යයක සර්වඤ්ඤ සහ රහතන් ධාතූන් වහන්සේලා තවමත් වැඩ ඉන්න බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා

කවුඩාගල ඇවිදිනකොට දකින්න පුලුවන් දේවල් මොනවද?

ඒ වගේම මේ ප්‍රදේශයේ දකින්න තියෙන්න නටඹුන් අනූව අංග සම්පූර්ණ නාගරික පරිසරයක් තිබුන බවටත් සාධක තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මේ ප්‍රදේශය පුරාවටම විවිධ ඖෂධ පැළෑටි සහ ගස් විසිරිලා තියෙනවා. දේශීය වෛද්‍ය කර්මාන්තයේ දී පාවිච්චි කරපු බෙහෙත් ගල් ඇතුලු නටඹුන් බොහෝ ප්‍රමාණයක් කවුඩාගල අවට දැක ගන්න පුලුවන්. එහෙම බැලුවම මේ ප්‍රදේශය නිකන්ම බෞද්ධ විහාරයක්ම විතරක් නෙමෙයි. බෞද්ධ විහාරයක් මූලික කර ගෙන ගොඩ නැඟුන මහා නාගරික ප්‍රදේශයක් පැවතිලා තියෙනවා

ගල් පර්වත වලින් සමන්විත නිසා මේ ප්‍රදේශයේ විශාල වශයෙන් ගල් ගුහා දකින්න පුලුවන්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවනා කරපු කුටි පවා දකින්න තියෙනවා. ඒ විදිහට බැලුවම මේ ප්‍රදේශයේ ශෛලමය කර්මාන්තයත් බොහොම දියුණුව පැවතිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කුඹල් කර්මාන්තය, හස්ත කර්මාන්තය, පේෂ කර්මාන්තය වගේ පැරණි කර්මාන්ත ක්‍රම ගොඩක් මේ ප්‍රදේශය අවට පැතිරිලා තිබිලා තියෙනවා. වැදගත්ම කාරණයක් තමයි සිංහල-බෞද්ධ ජනතාව පමණක් නෙමෙයි දෙමළ-බෞද්ධ ජනතාවත් අතීතයේ මේ ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි දෙමළ පුද්ගලයෙකු විසින් හදලා මහා සංඝ රත්නයට පූජා කරපු ගල් ගුහාවක් පිළිබඳ ලිපි මෙහි දකින්න තියෙනවා. වර්තමානයේත් මේ ප්‍රදේශයේ සිංහල ජනතාවත්, නැගෙනහිර පළාත් මායිමේ දෙමළ සහ මුස්ලිම් ජනතාවත් ජීවත් වෙනවා. මේ ප්‍රදේශය පුරාවටම විසිරිලා තියෙන වැව් පද්ධතිය බැලුවම හිතා ගන්න පුලුවන් අතීතයේ වාරි කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය කොයි තරම් සශ්‍රීකව පැවතිලා තියෙනවද කියලා. ඒ වගේමයි මේ ප්‍රදේශය මූලික කර ගෙන අධ්‍යාපනික ආයතන පවා පැවතෙන්න ඇති කියල විශ්වාස කරනවා

මේ කවුඩාගල පුරාණ නටඹුන් සහිත භූමියේ දකින්න පුලුවන් තවත් දෙයක් තමයි දාන ශාලාවක නටඹුන්. මේ දාන ශාලාව ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ දි වගේ ඉදි කළා කියල තමයි සැලකෙන්නෙ. තාමත් හඳුනා ගන්න පුලුවන් මට්ටමේ නටඹුන් මේ ප්‍රදේශයේ විසිරිලා තියෙනවා

තවත් විශේෂ දෙයක් තමයි කවුඩාගල ප්‍රදේශයේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් සෙල් ලිපි සහ ඉදි කිරීම් දැක ගන්න ලැබෙනවා. ඒ එක් සෙල් ලිපියක සඳහන් වෙනවා දීඝවාපියෙන් පැමිණි තිස්ස නම් කුමාරයෙක්, ඔහුගේ පුත් උත්තිය තිස්ස නම් කුමාරයෙක්, ඔහුගේ පුත් තිස්ස නම් කුමාරයෙක්, ඒ කියන්නෙ සීයා, තාත්තා සහ මුණුබුරා විදිහට තුන් දෙනෙක් මේ ප්‍රදේශයේ ලෙන් ඉදි කරලා මහා සංඝ රත්නයට පූජා කරලා තියෙනවා. මේ කරුණු ඔස්සේ තවත් දිග නොහැරුනු අපූරු අතීත කතාවන් ගොඩක් ඉස්මතු කර ගන්න පුලුවන්කම තියෙනවා

මේ කවුඩාගල කන්ද තරණය කරනකොට දකින්න ලැබෙන තවත් විශේෂ දෙයක් තමයි කන්දේ එක් ප්‍රදේශයක වැඩ වාසය කරන ඉපැරණි බෝධීන් වහන්සේ. මේ බෝධීන් වහන්සේ වටා ප්‍රාකාරයක් බැඳ තිබූ බවට සාධක හම්බ වෙනවා. හැබැයි මේ බෝධීන් වහන්සේ පිළිබඳව නිශ්චිත විස්තරයක් සහ බෝධීන් වහන්සේ රෝපණය කරපු කාලයක් ගැන තාම හරියට හොයා ගන්න පුලුවන්කමක් ලැබිලා නෑ කියල තමයි දැන ගන්න ලැබුනේ

අපි මේ කවුඩාගල පර්වතය නඟිනකොට දැකපු දෙයක් තමයි පර්වතය පාමුල අවට ප්‍රදේශය සිසිල් ස්වභාවයක් ගන්නවා. ඒ වගේම ප්‍රධාන පර්වතය දක්වා යන ගමනේ දී ගල් පර්වත අතර කැලෑබද ප්‍රදේශ දකින්න ලැබෙනවා. මේ ගමනේ දී ගිමන් නිවන්න ඒ තැන් අපිට ගොඩක් වැදගත් උනා

කවුඩාගල අවට ගම්මාන සැලකුවාම අතිශය බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙලෙන කෘෂි කර්මාන්තයේ නියැලෙන පිරිස් තමයි ඉන්නෙ. වන අලි ගැටලු වලින් වගේම පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ දැවැන්ත ගැටලු වලට ඔවුන් මුහුණ පාලා ඉන්නවා. මේ ගමන අපි ගියේ හුදෙක්ම විනෝද චාරිකාවක් යන අරමුණෙන් නෙමෙයි. මං ඒ ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම් අන්තිමට. කවුඩාගල ප්‍රදේශය අතිශයින්ම සුන්දර ඒ වගේම විවිධ භූ විෂමතා ලක්ෂණ වලින් පිරුන ප්‍රදේශයක්. කවුඩාගල පර්වතය පාමුල සුන්දර වැවක් පිහිටලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශය පුරාවටම තවත් බොහොමයක් වැව් දැක ගන්න පුලුවන්. කවුඩාගල පර්වතය මුදුනට නැග්ගම අපිට හිතා ගන්න බැරි තරම් ප්‍රදේශයක් අපිට දැක ගන්න පුලුවන්. උතුරු සහ ඊසාන දෙසින් ත්‍රිකුණාමලය අවට කඳු පන්තියත්, නැගෙනහිර දෙසින් මඩකලපුව ප්‍රදේශයත්, දකුණු සහ නිරිත දෙසින් තොප්පිගල, දිඹුලාගල සහ මධ්‍යම කඳු පන්තියත්, එතනින් තවත් ටිකක් එහාට ගිහින් බස්නාහිර සහ වයඹ දෙසින් පොළොන්නරුව, මහවැලි ගඟ සහ සෝමාවතිය ප්‍රදේශයත් දැක ගන්න පුලුවන්

මේ කවුඩාගල කන්ද නගිනකොට ඕමනියාමඩු, රන්සරතැන්න, අසේලපුර, මහින්දාගම සහ කවුඩාගල කියන ගම්මාන ඇතුලු තවත් ගම්මාන රාශියක් දැක ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ ලොකුම ග්‍රාම සේවා වසමත් මේ කියන මහින්දාගම ප්‍රදේශය කියලා අපිට දැන ගන්න ලැබුනා

කවුඩාගලට මේ නම ලැබිලා තියෙන විදිහත් හරිම විශේෂයි. කවුඩාගල ප්‍රධාන පර්වතය ආසන්නයේ තියෙනවා තවත් විශේෂ ගල් ගුහාවක්. මේ කියන ගල් ගුහාවේ කවුඩෙකුගේ රූපයක් අසාමාන්‍ය විදිහට ගලේ දකින්න ලැබෙනවා. මේක අතීතයේ දී කවුරුන් විසින් හෝ කොටන ලද්දක් ද එහෙම නැත්තන් ස්වභාවිකව නිර්මාණය උන දෙයක්ද කියල හිතා ගන්න අමාරුයි. හැබැයි දැන⁣ට තියෙන මූලාශ්‍ර වලට අනූව මේ කවුඩාගේ රූපය ස්වභාවිකව නිර්මාණය උන දෙයක් කියල තමයි කියන්නෙ

මේ කවුඩගල කියන නම ලැබිලා තියෙන්නෙ කොහොමද?

දැන් තමයි තවත් වැදගත්ම දෙයක් කියන්න යන්නෙ. කවුඩාගල තියෙන සමහර ලෙන් වල අදටත් ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් කියල සැලකෙන සිතුවම් දකින්න තියෙනවා. ඒ විදිහට බැලුවම මේ වසර දහස් ගානක ඉතිහාසයක් නොනැසී සඟවා ගෙන ඉන්න ප්‍රදේශයක්. මේ ගැන පුලුල් කැණීම් කටයුතු, විචාරයන් සහ සොයා බැලීම් කළාම අපිට හිතා ගන්න බැරි විදිහෙ ඉතිහාසයක් මතු කර ගන්න පුලුවන් වෙයි

මේ ගමනට සම්බන්ධ උන පිරිස කවුද?

මං ඉස්සෙල්ලා කිව්වා අපි මේ ගමන ගියේ විනෝද චාරිකාවක් විදිහටම නෙමෙයි කියලා. පොළොන්නරුව ප්‍රදේශයේ සමාජ සංවිධානයක ආරම්භක සාමාජිකයෙකු⁣ වෙන ලක්ෂාන් මධුසංකගේ සංකල්පයකට අනූව ක්‍රියාත්මක වෙන පුනරුදය වැඩසටහන යටතේ, මේ කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඉපැරණි බෞද්ධ උරුමය යළි ගොඩ ගැනීමේ අරමුණත් පෙරදැරිව තමයි අපි මේ ගමන ගියේ. ඒ වගේම පාසල් කාලයේ දී අපගේ සමීප මිතුරෙකු වූ, වර්තමානයේ කවුඩාගල ප්‍රදේශය භාරව කටයුතු කරන පූජ්‍ය දේවගල පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේගේත් ආරාධනයෙන් සහ මඟ පෙන්වීමෙන් තමයි මේ ගමන සාර්ථක කර ගන්න පුලුවන් උනේ. අපිත් එක්ක මේ ගමනට ළහිරු හිමාල, සුපුන් මධුරංග, සමීර සම්පත්, සචින්ත වගේම මේ අවට ප්‍රදේශයේ ගම්වාසීන් කිහිප දෙනෙකුත් සම්බන්ධ උනා. ඇත්තටම මේ ගමනේ තවත් අරමුණක් තමයි මේ අතීත නටඹුන් යළි පණ ගැන්වීම හරහා මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන රටාව නඟා සිටුවීමට පිටුවහලක් දක්වන්න පුලුවන් වෙන එක. ඔයාලට පහල ලින්ක් වලින් කවුඩාගල සම්බන්ධව අපි කරපු වීඩීයෝ වගේම කවුඩාගල ප්‍රදේශය සම්බන්ධව ක්‍රියාත්මක වෙන වැඩසටහන් ගැන විස්තර දැන ගන්න පුලුවන්. ඒ වගේම පහළ තියෙන දුරකතන අංක වලින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගෙ අදහස් දක්වන්නත් දායකත්වයක් දක්වන්නත් පුලුවන්කම තියෙනවා

පොඩි ආරාධනාවක් තියෙනවා

කවුඩාගල ගැන කියනව නම් කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන තවත් විස්තර ඉස්සරහට මේ විදිහටම වාර්ථාවන් විදිහට අරන් එන්න මං බලාපොරොත්තු වෙනවා. ඔයාලා පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් වල සංචාරය කරන්න කැමති නම්, විවිධ භූ විෂමතා කලාප තියෙන ප්‍රදේශයක සුන්දරත්වය විඳින්න කැමති නම්, මේ වගේ හැමදේම එකට විඳින්න පුලුවන් තැනක් තමයි කවුඩාගල කියන්නෙ. හැමෝටම ආරාධනා කරනවා මේ සුන්දර, වටිනා ප්‍රදේශයට සංචාරය කරන්න. වෙනස්ම විදිහක අත්දැකීමක් වගේම වෙනස්ම විදිහක ගැමි ජීවන රටාවක පුදුමාකාර සුන්දරත්වයක් අත් විඳින්න පුලුවන් වෙයි

~ අෂේන් සුදීප ~


දේවගල පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ - 0774300840
https://www.facebook.com/venDewagalaPannaseehaThero/

ලක්ෂාන් මධුසංක - 0704000699

අෂේන් සුදීප - 0711729500


අපි කවුඩාගල ගැන කරපු වීඩියෝස්

https://youtu.be/fgz99K78AvM

https://youtu.be/vx28-Y5kLLo

https://youtu.be/dUk3n-0fCwQ

https://youtu.be/Dn1Q7AnU2ss


කවුඩාගල - තෙවැනි ඇසින්
https://www.facebook.com/pg/punarudhaya/photos/?tab=album&album_id=852974661760983


පුනරුදය ව්‍යාපෘතිය
https://www.facebook.com/punarudhaya/


විමාන යූ ටියුබ් චැනලය
https://www.youtube.com/channel/UCyvV1t-SfAWJjF4wfRDZk8g


සිංහ TV යූ ටියුබ් චැනලය
https://www.youtube.com/channel/UC-t1eniH5C8PcFxoB6rR6fQ



Posted by Ashain Sudeepa (Admin)

Comments

Popular posts from this blog

CONCRETE - Part 2 - Construction Materials

දිඹුලාගල නායක හාමුදුරුවන් වහන්සේ